Home / මුළුතැන්ගෙය / රහට ගුණට සලාද කමු

රහට ගුණට සලාද කමු

2020-08-25 08:56:00       858
feature-top
බත්වලට වඩා සලාදවලට කැමති අයටත් රසගුණ පිරුණු මේ සලාද එකතුව අපූරු වෙනසක් වනවාට සැක නැහැ. ඉතින් සති අන්තයේ මේ රසවත් සලාද රහ ඔබත් අත්හදා බලන්න.

අලිගැටපේර සලාදය

අවශ්‍ය ද්‍රව්‍ය
ඉදුණු අලිගැටපේර ගෙඩියක්
තක්කාලි ගෙඩියක්
ලොකු ලූනූ ගෙඩියක්
කොත්තමල්ලි කොළ ස්වල්පයක්
අමු මිරිස් කරල් 02ක්
ලුණු සහ දෙහි අවශ්‍ය ප්‍රමාණයට

තක්කාලි, ලූනූ, කොත්තමල්ලි කොළ සහ අමු මිරිස් සිහින්ව කපා එයට දෙහි සහ ලුණු එකතු කරගන්න. ගෑරුප්පුවකින් අලිගැටපේර ගෙඩිය කෑලි හිටින්න පොඩි කරගන්න. මේ දෙක අවසානයේ ගෑරුප්පුවකින්ම මිශ්‍ර කරගන්න.


ජර්මානු අල සලාදය

අවශ්‍ය ද්‍රව්‍ය
තම්බා කොටු කපාගත් අල
බේකන්
කුඩා කොටු කපාගත් ලූනූ
චොප් කරගත් පාස්ලි
ලුණු තේ හැන්දක්
සීනි මේස හැඳි 3 ක්
විනාකිරි කප් 1 ක්
ගම්මිරිස් කුඩු
වතුර මේස හැඳි 2 ක්

බේකන් තීරු ක්‍රිස්පි වෙන තරමට බැද කුඩා කැබලි කඩාගන්න. ඒ තෙලටම කොටු කපාගත් ලූනූ එක් කර තෙම්පරාදු කරගන්න. එයට විනාකිරි, වතුර, සීනි, ලුණු සහ ගම්මිරිස් එක් කර මිශ්‍ර කර උතුරුවා ගන්න. එයට අල සහ පාස්ලි එක් කර බේකන් වලින් කොටසක් මිශ්‍ර කර ලිපෙන් ඉවත් කරගන්න. පිළිගන්වන විට ඉතිරි බේකන් උඩින් දමා පිළිගන්වන්න.


ධාන්‍ය සලාද

අවශ්‍ය ද්‍රව්‍ය
මෑ ඇට
බෝංචි ඇට
සුදු කවුපි සහ රතු කවුපි
කඩල
මුං ඇට
ඉරිඟු ඇට
චොප් කරගත් ලූනූ
චොප් කරගත් ගොටු කොළ
දෙහි ඉස්ම මේස හැන්දක්
විනාකිරි මේස හැඳි 4 ක්
සීනි මේස හැඳි 2 ක්
ඔලිව් තෙල් මේස හැන්දක්
ලුණු
ගම්මිරිස් කුඩු

ලුණු, සීනි, විනාකිරි, ඔලිව් තෙල්, දෙහි ඉස්ම වෙනම බඳුනක මිශ්‍ර කරගන්න. ඇට වර්ග සියල්ල තම්බා ගන්න. (එක් එක් ඇට වර්ග තැම්බීම සඳහා ගත වෙන කාලය වෙනස් නිසා වෙන

වෙනම තම්බා ගන්නවා නම් වඩාත් සුදුසුයි.) සාදාගත් සැලඩ් ඩ්‍රෙසින් එකක දමා කෑමට ගන්නා විට හොඳින් මිශ්‍ර කරගන්න.


දම් ගෝවා සලාදය

අවශ්‍ය ද්‍රව්‍ය
දම් ගෝවා
කැරට්
රට ලූනූ
රතු හෝ කොළ ඇපල්
දෙළුම් ඇට ටිකක්
මයෝනීස් ⁣මේස හැඳි 3 ක් හෝ යෝගට් එකක්
අමු මිරිස්
ගම්මිරිස් කුඩු
ලුණු කුඩු
දෙහි ඇඹුල්

දම් ගෝවා, කැරට්, රට ලූනූ සියල්ල සිහින්ව ද ඇපල් පොඩි කොටු හැඩයට ද කපා ගන්න. ඉහත කී කළමනා සියල්ල එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. එයට අවශ්‍ය පමණට ලුණු, දෙහි ඇඹුල් එක් කර ශීතකරණයේ තබා සිසිල්ව ආහාරයට ගන්න. ආහාරයට ගන්නා විට යෝගට් එකට මයෝනිස් කලවම් කර එය සලාදයට මිශ්‍ර කර ගන්න.


රුසියානු සලාදය

අවශ්‍ය ද්‍රව්‍ය
කොටු හැඩයට කැපූ අල ගෙඩි 3 ක්
කොටු හැඩයට කැපූ කැරට් අල 2 ක්
ග්‍රීන්පීස් ග්‍රෑම් 250
හීනියට කැපූ බෝංචි කරල් 8 ක්
මයෝනිස් මේස හැඳි 5 ක්
කොටු හැඩයට කැපූ පොඩි අන්නාසි ගෙඩියක්
ලුණු ස්වල්පයක්
ගම්මිරිස් කුඩු

අල අයිස් වතුර එකක පෙඟෙන්න තබන්න. කැරට් විනාඩි දෙකක් පමණ තම්බ ගන්න. කැරට් තැම්බුණු පසු එය ඉවත් කර ඒ වතුරෙන්ම බෝංචි විනාඩි දෙකක් තැම්බෙන්න දෙන්න. තැම්බුණු බෝංචි ඉවත් කර දැන් එම බඳුනට ග්‍රීන්පීස් දමා විනාඩි දෙකක් තම්බ ගන්න. අන්තිමට විනාඩි තුනක් පමණ අල ටික තැම්බෙන්න හරින්න. දැන් වෙනත් බඳුනක් ගෙන තම්බා ගත් අල, කැරට්, බෝංචි, ග්‍රීන්පීස් හා අන්නාසි එකතු කර ලුණු සහ ගම්මිරිස් කුඩු ඇති පදමට දමා ගෙන මයෝනිස් එකතු කර හොඳට මිශ්‍ර කර ගන්න. මෙම සලාදය කෑමට එකතු කරගන්නේ හොඳින් සිසිල් වූ පසුවයි. එනිසා හදා ගත්තු සලාදය කෑමට ගන්නා තෙක් ශීතකරණයේ තබන්න‍.

More News »