Home / මුළුතැන්ගෙය / හැමදාම උයන බත් වෙනුවට බත් උයන්න අලුත් ක්‍රම

හැමදාම උයන බත් වෙනුවට බත් උයන්න අලුත් ක්‍රම

2019-01-01 11:36:00       1740
feature-top
හොඳ හාල් දුලබයි
කෙහොම වුණත් අදටත් ලංකාවේ ප්‍රධාන ආහාර වේල් තුන අතරට බත් එකතු වෙනවා. ඉතිහාසය පුරාම ලංකාව සහලින් ස්වයංපෝෂිත රටක් විදියට හැඳින්වුණා. පෝෂ්‍ය ගුණයෙන් වැඩි හාල් අද වෙද්දී බොහෝ දුලබයි. මිලෙනුත් අධිකයි. මුදල් පස්සේ හඹාගෙන යන ආර්ථික රටාවකට හුරු වුණු ගොවියෝ ඉක්මනින් වැඩි අස්වැන්නක් ලබාදෙන වී වර්ග වගා කරන්න පෙලැඹෙන එක අරුමයක් නම් නොවේ. කුරුලු තුඩ වැනි හාල් වර්ග පෝෂ්‍ය ගුණයෙන් ඉතා ඉහළයි. නමුත් මේ යන රටාවත් එක්ක කුරුලු තුඩ වැනි වී වර්ග වගා කෙරෙනවත් අඩුයි.


බත් උයන ක්‍රම දෙකයි
ප්‍රධාන වශයෙන්ම බත් උයන ක්‍රම දෙකක් තිබෙනවා. හාල් හෝදලා අවශ්‍ය ප්‍රමාණයට වතුර තියලා තම්බනවා. බත ඉදෙද්දි ළිපේ ගින්දර අඩු කරලා පියනෙන් වහනවා. මේ එක ක්‍රමයක්. ලංකාවේ බහුලව භාවිත වෙන්නෙත් මේ ක්‍රමය. හැබැයි තව සමහරු හාල් හෝදලා ළිපේ තියන්නේ අවශ්‍ය පමණටත් වඩා වතුර එක් කරලා. බත ඉදෙන කොට වැඩි වතුර ටික පෙරලා අයින් කරනවා. දෙවැනි ක්‍රමය නම් හුඟක් භාවිත කෙරෙන්නේ යුරෝපය වගේ රටවල.


ජැස්මින් රයිස්
දකුණු ආසියානු කලාපයේ තරමක් ගනකමින් වැඩි හාල් වර්ග තමයි ආහාරයට යොදා ගන්නේ. ලංකාවට නිවුඩු සහිත හාල් පරිභෝජන රටාව හුරු වුණේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන්. තායිලන්තය, වියට්නාමය, කාම්බෝජය වගේ රටවල් තමන්ගේ ආහාර වේලට එක් කරගන්නේ පුළුන් වගේ බතක්. ඒ බතට කියන්නේ ජැස්මින් රයිස් කියලා.


බාස්මතී හාල්
පාකිස්තානයේ නම් ආහාරයට ගැනෙන්නේ විවිධාකාර බාස්මතී වර්ග. බිරියානි කියන බත සැකසෙන්නෙත් පාකිස්තානය ආශි්‍රතව. හුඟක් කාලයකට කලින් තැනින් තැනට වෙලා යුද්ධ කළ පාකිස්තානු හමුදා භටයෝ තමන් ළඟ තිබුණු හාල් මස් වර්ග සහ තුන පහ වර්ග සියල්ල එකට එක් කරලා බතක් පිස ගත්තා. පස්සෙ කාලෙක මේ බත ව්‍යාප්ත වෙලා තමයි "බිරියානි" කියන බත් වර්ගය කරළියට එන්නේ.


හීල් බත්
ඉස්සර නම් ගං ගෙවල්වල රෑට බත් ඉතිරි වුණාම හට්ටියට වතුර ටිකක් දාලා තියලා රතු ලූනු, රම්පේ, කරපිංචා එකතු කරලා උදේට දිය බතක් හදා ගන්නවා. දකුණු පළාතට යද්දී මේ දිය බතට මිටි කිරි ටිකකුත් එකතු කර ගන්නවා. එහෙම නැත්නම් බත් ටික හට්ටියේම තියෙන්න ඇරලා උදේට හීල් බත් විදියටත් කෑමට ගන්නවා.
බාස්මතී උයන ක්‍රමය
කැකුළු හාලක් ඉදෙන්න නම් මැදැඟිල්ලෙන් පුරුක් එකහමාරක විතර වතුර ප්‍රමාණයක් අවශ්‍යයි. බාස්මතී හාලක් උයන්න ඒ තරම් වතුර ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඇඟිලි පුරුක් භාගයක විතර වතුර තිබ්බාම ඇති. හැබැයි මතක ඇතිව බත උයද්දි තෙල් ටිකකුත් එකතු කරන්න. එහෙම නැති වුණොත් බාස්මතී හාලේ ඇට එකට ඇලිලා තියෙයි.


අලුත් හාල් වර්ග
ගෙදරට අලුතෙන් හාලක් ගෙනත් උයද්දී වෙනදා තියන වතුර ප්‍රමාණයට වඩා අඩුවෙන් වතුර තියලා බලන්න. හාල් ඇටේ අතින් තද කරද්දී (නියපොත්තෙන්) ඉක්මනට කැඩෙනවා නම් ඒ හාල ඉදෙන්න ඒ තරම් වතුර අවශ්‍ය වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට බත බෙරි වෙන්නේ අලුත් හාලට පුරුදු විදියට වතුර තියන්න ගිහින්. එහෙම නැත්නම් ළිපේ ගින්දර අවශ්‍ය ප්‍රමාණය නැති වුණාම. බත් එක උයලා ඉවර වුණාට පස්සේ කිසිම විදියකට බත් එකට අත ගාවන්න එපා. එහෙම වුණොත් බත් ඉක්මනට පිළුණු වෙනවා. බත් බෙදා ගන්න පොල් කටු හැන්දක් වෙනම වෙන් කරලා තියන්න. හැඳි මිටෙන් බත හොඳට කූරු ගාන්න.


බත් දංකුඩ
ඉස්සර නම් බත් මුට්ටිය අඩිය ඇල්ලුවාම හොඳ මිරිස් හොද්දක්, පොල් සම්බලක්, පොල් මැල්ලුමක් එක්ක බත් දංකුඩ රහට කන්න අපේ ගම්වල අය පුරුදු වෙලා හිටියා. බත් ටික ඉතිරි වුණාම බත් ඇට හොඳට අව්වෙ දාලා වියළලා කුරහන් ගලේ අඹරනවා. එහෙම නැත්නම් මිරිස් ගලේ අඹරනවා. දැන් නම් ඉතින් ග්‍රයින්ඩර් එක තියෙනවනේ. හොඳට කුඩුකර ගත් බත් කුඩුවලට ලුණු, පොල්, සීනි එකතු කරලා ගුළි හදාගත්තාම හවස තේවලට හරි අපූරු කෑමක්. මේ විදියටම ගුළි හදාගෙන හාල් පිටි, කහ, මිටි කිරි එක් කරලා උකුවට බැටර් එකක් හදාගෙන. ඒ බැටර් එකේ තවරලා ගැඹුරු තෙලේ බැඳ ගත්තාම වෙනස්ම රසයක් එක් කරගන්න පුළුවන්.


කිරි බතට හොඳම හාල
දැන් සතුට සමරන්න කේක් ගෙඩියක් කැපුවට ඉස්සර නම් සතුට සැමරුවේ කිරි බතක් උයලා. කිරි බතක් උයන්න හොඳම රතු කැකුළු හාල. හාල් හෝදලා දිය කිරෙන් ළිපේ තියලා එනසාල්, කරාබු නැටි, කරපිංචා, රම්පෙ එකතු කරලා ළිපේ තියලා ඊට පස්සේ බත ඉදීගෙන එද්දී මිටි කිරි එකතු කරනවා. කිරි බත කෙසෙල් කොළේක අතුරලා කෙසෙල් කොළේකින්ම තවලා කෑලි කපා ගන්නවා. කැකුළු හාලේ පිටි වැඩි නිසා පොල් කිරි එකතු වුණාම ඇලෙනසුලු බවක් ගන්නවා. ඒ නිසාම කිරිබත නිවෙද්දි හොඳට ගන වෙනවා.


තෙම්පරාදු බත්
හැමදාම කන බත් එකට පුංචි වෙනසක් කරන්නත් එක්ක බත් තෙම්පරාදු කර ගන්න පුළුවන්. වෙනස් විදියකට බත් හදනවා කිව්වාම හුඟක් දෙනෙක්ට මතක් වෙන්නේ කැරට් ලීක්ස් එක් කරලා හදාගන්න ෆ්‍රයිඩ් රයිස් එක. ඒත් බතක් තෙම්පරාදු කරගන්න ක්‍රම තව කිහිපයක්ම තියෙනවා.
හට්ටියක් ළිපේ තියලා තෙල් එකතු කරලා රත් වුණාට පස්සේ රත් වුණු තෙලට රම්පෙ, කරපිංචා, ලුණු වගේම පෙති කපා ගත්ත සුදු ලූනු ටිකක් වැඩියෙන් එකතු කරගෙන රන්වන් පාට වෙන කල් තෙම්පරාදු කරගන්න. ඕනෙ නම් පොල් තෙල් වෙනුවට දුන් තෙල් එකතු කරගන්නත් පුළුවන්. ලුණු, ගම්මිරිස් අවශ්‍ය තරමට එක් කරලා බත් එක්ක හොඳින් කලවම් කරගන්න. අන්තිමටම ලූනු කොළ ටිකක් හීනියට කපාගෙන එකතු කරගන්න.


පොල් බත්
කැකුළු හාල් බතක් තෙම්පරාදු කරන්න පුළුවන් කියලා සමහරු නම් දන්නෙවත් නැතිව ඇති. කොහොම වුණත් මේ හදන්නේ කැකුළු හාල් බත්වලින් පොල් බතක්. තක්කාලිවල මැද ඇට අයින් කරලා කොටු කපා ගන්න. ලූනු, සුදු ලූනු, සේර හීනියට කපා ගන්න. අමු මිරිස් කරල් කිහිපයක් කපා ගන්න. දුන්තෙල් ටිකක් රත් කරලා ඒකට ලූනු, සුදු ලූනු, සේර, තක්කාලි, කරපිංචා එක් කරලා තරමක් බැද ගන්න. දැන් පොල් එකතු කරන්න. කැකුළු හාල් කිලෝ එකකට නම් ගාගත් පොල් බෑයක්වත් ඕනෙ. අන්තිමට කැකුළු හාල් බත එකතු කරලා පොල් මිටි කිරි කෝප්ප භාගයක් විතර එකතු කරගන්න. මතක ඇතිව විනාඩි දහයක් ඇතුළත මේ පොල් බත මේසෙට යවන්න. කැකුළු හාල් ඉක්මනට වියළෙන නිසා උණුවෙන්ම කෑවාම තමයි රස.


උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »