Home / මුළුතැන්ගෙය / ගිනස් පොතට ගිය අපේ නත්තල් ගස

ගිනස් පොතට ගිය අපේ නත්තල් ගස

2017-12-29 12:15:00       127
feature-top
ජේසු සමිඳුන්ගේ උපත සමරන නත්තල් සිරිය දසත පැතිරෙද්දී අප මතකයට නැඟෙන්නේ ගියවර නත්තල නිමිතිකොට මෙරට ඉදිවූ ලොව උසම කෘත්‍රිම නත්තල් ගසේ කතාන්දරයයි. ගෝල්ෆේස් පිටියේ ඉදිවූ එම නත්තල් ගස නිර්මාණය කරන සමයේ ඒ ගැන මාධ්‍යයක් ලෙස මුලින්ම රටට ලෝකයට අනාවරණය කළේ අප සිළුමිණ පුවත්පතයි. ඒ 2016.12.04 දා සිළුමිණ සිත්මල්යායේ “ලොව උසම නත්තල් ගස අපේ රටෙන්” යන සිරස් තලය සමඟිනි. එම නත්තල් ගස ගැන මෙදා නත්තල් සිරිය එළඹෙද්දී නැවතත් කතාබහක් ඇතිවන්නේ ලොව විශාලතම කෘත්‍රිම නත්තල් ගස ලෙස ඊට ලැබුණු ගිනස් වාර්තා සහතිකය නිසයි.

අර්ජුන රණතුංග සමාජ සත්කාරය මඟින් ඉදිවූ එම නත්තල් ගස මේ වන විට අපගේ පුංචි දිවයිනේ නාමය ගිනස් පොතට රැගෙන ගොස් හමාරය. පසුගිය 13 දා වාර්තාගත නත්තල් ගස ඉදිකිරීම වෙනුවෙන් අර්ජුන රණතුංග සමාජ සත්කාරයට ලැබුණු ගිනස් වාර්තා සහතිකය අරලියගහ මන්දිරයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රදානය කරමින් නිල වශයෙන් එය රජයට ප්‍රදානය කළේය. නිර්මාණය කරන සමයේ නොයෙක් මාතෘකා ඔස්සේ මහත් කතාබහට ලක්වූ එම නත්තල් ගස අන්තර්ජාතිකවද පිළිගැනීම සනාථ කරමින් ලැබුණු ගිනස් වාර්තාවේ කතාන්දරය ගැන තොරතුරු අපට හෙළි කළේ අර්ජුන රණතුංග සමාජ සත්කාරයේ සභාපති මංගල පී. ගුණසේකර මහතායි.

“ඇත්තටම අපිට ලොකු සතුටක් තියෙනවා අප කළ දේ වෙනුවෙන් ලැබුණ අන්තර්ජාතික පිළිගැනීම ගැන. මේ ගිනස් වාර්තාව ලබාගැනීමට යාමේදී අපිට සෑහෙන බාධක රැසකට මුහුණ දෙන්න වුණා. තිබෙන ලොකුම කනගාටුව තමයි ඒ සියලු බාධක එල්ල වුණේ අපේ රටෙන්මයි. සමහරු චෝදනා කරලා තිබුණා මෙහි නත්තල් ගසක ස්වරූපය තිබුණේ නෑ... හරියට නිකං රොකට් එකක් වගේ කියලා. නමුත් ජර්මනිය ඇතුළු විදේශ රටවල් රැසකින්ම කියා තිබුණා අපි ඉතාම හොඳ නිර්මාණයක් කර තිබුණේ කියා. එම නිසා ඒ වාර්තාව අපට ලබා දෙන්න කියා ඔවුන් මේල් පණිවිඩ මඟින් දන්වා තිබුණා. මම මේ කියන සියලු දේ ගිනස් වාර්තා වෙබ් අඩවියට පිවිසුණහොත් ඕනෑම අයකුට අදටත් එම විස්තර දැකගත හැකියි. ....

අපි ඉල්ලුම් කළේ ලෝකයේ උසම කෘත්‍රිම නත්තල් ගසේ ගිනස් වාර්තාව අපට ලබා දෙන්න කියා. නමුත් ඇත්තටම එම ගිනස් වාර්තා ලබාදෙන අය අප මේල් පණිවිඩයකින් දැනුවත් කළා ඔයාලගේ ගස උසින් පමණක් නොව මෙතෙක් ලොව ඉදිවූ විශාලත්වයෙන්ද වැඩිම ගස බව. ඒ නිසා ලොව විශාලතම කෘත්‍රිම නත්තල් ගස කියා ගිනස් වාර්තාව නැවත ඉල්ලුම් කරන ලෙස දැන්වූවා. ඒකට හේතුව උසින් පමණක් නොව මෙය වර්ගඵලයෙන් ද වැඩිම ගස වීමයි. ”

ඒ අනුව ගිනස් වාර්තාව හිමිවූ මේ නත්තල් ගසේ උස මීටර් 72.1 ක් වූ අතර විෂ්කම්භය මීටර් 22කින් යුක්ත විය. යකඩ ටොන් 30ක්, ෆයිනස් මල් ලක්ෂ 10කට අධිකව සහ අලංකාරයට විදුලි බල්බ 30,000ක් පමණ ද ඒ සඳහා යෙදවිණ.

කෘත්‍රිම නත්තල් ගසේ අතුරු කතා ගැන ද මංගල මහතා අපට පුංචි හෙළිදරව්වක් කළේය.

“මෙහෙමයි, අපිට ඔය ගිනස් වාර්තාව ලැබුණේ ජුනි 20 වැනිදා. නමුත් අපි නත්තල් මාසේ එනකල්ම එය හෙළි කළේ නැහැ. ඒ නියම දිනය මාධ්‍යයකට කියා මුලින්ම හෙළි කරන්නේ සිළුමිණට. මොකද සිළුමිණ තමයි අපි කළ දේ මුලින්ම සහ නිවැරැදිව ඒ මොහොතේ වාර්තා කළේ.

ඇතැම් දෙනා පැවැසුවා මෙය සල්ලි විනාශ කරන වැඩක් කියා. ඇත්තටම මේ සඳහා මිලියන 200ක් වැය වුණේ නැහැ. ලක්ෂ 125ක වියදමක් ගියේ. එයත් අමුද්‍රව්‍ය පරිත්‍යාග සහ නොමිලේ ලැබුණු ශ්‍රමය අනුව ගණන් බලා. නමුත් ඒ වැරැදි වැටහීම් නිසයි ඒ අවස්ථාවේ මේ ගසට ගැටලු පැන නැඟුණේ. ඇත්තටම ඒ සියලු ගැටලු නිරාකරණයට ජනාධිපතිතුමා, අගමැතිතුමා හා රජයෙන් අපට ලොකු ශක්තියක් ලැබුණා.”

නත්තල් ගසට ලැබුණු ගිනස් වාර්තාව නිසා ජාති බේදයෙන් තොරව රටේම මිනිසුන් උදම් අනද්දී අතිශයින්ම සතුටු වන පිරිසක් ද සිටිති. ඒ මේ සඳහා මාස හතරකට අධික කාලයක් දිවා රෑ නොතකා කැපවූ පිරිසයි. වරායේ සේවයෙහි නියුතු නානායක්කාර, සුසන්ත, ජූඩ්, සම්පත්, අරුණ, භාග්‍යා, චන්දික, රාජපක්ෂ, චමල්, සහ හර්ෂ යන දසදෙනාගෙන් නව දෙනෙක්ම බෞද්ධයෝය. ‘සාමයේ සම්ප්‍රාප්තිය‘ යන නමින් ඉදිවූ මේ කෘත්‍රිම නත්තල් ගස නිර්මාණයේ අදහස මෙහි ප්‍රධාන නියමුවා වන නානායක්කාරගෙනි.

“අපි මාස හතරකට අධික කාලයක් අව්වට පිච්චෙමින් ශීතලට ගැහෙමිනුයි මෙය ඉදිකළේ. ඇත්තටම මීට ලොකු වියදමක් ගියේ නැහැ. ඔය රිකිල්ලගස්කඩ පැත්තෙ කැලෑවලටම පස් වන ෆයිනස් මල්වලිනුයි මෙය අලංකාර කළේ. මං වගකිවයුත්තන්ට කියනවා අපි වැනි අයට මෙවැනි නිර්මාණ කරන්න අතහිත දෙන්න කියා. මං හිතන්නෙ අපේ පරපුර තමයි මෙවැනි දේවල් කරන්න සිටින අවසන් පරපුර. මොකද දැන් හැදෙන අයට නිර්මාණ ශක්තියක් නැහැ. වෙසක් කූඩුවත් කඩෙන් අරන් යන කාලයක් මේක. දැන් හැදෙන තරුණ පරපුර අඩුම තරමේ කුරුම්බැට්ටි මැෂිමක් හෝ මඤ්ඤොක්කා කොළේකින් කරමාලයක්වත් හදන්න දන්නෙ නැහැ. ඒ නිසා මං මේ නිර්මාණය කළේ ආගමික සහජීවනය වගේම අපේ රටේ තරුණ පරපුරේ නිර්මාණ හැකියාව වැඩිදියුණු කරන්න. ඇත්තටම මහත්තයා ඔබලාගේ පත්තරෙන් මේකත් හෙළි කරන්න. මට දැන් තියෙන එකම සිහිනය තමයි එළඹෙන වෙසක් පෝයට ගෝල්ෆේස් පිටියේ මිනිස්සුන්ට නඟින්න බහින්න පුළුවන් සිරිපාදයක් නිර්මාණය කරන එක. ඒ සඳහා කවුරුන් හෝ අතහිත දෙනවනම්?



උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »